Contact Information
We Are Available 24/ 7. Call Now.

දරුවන් තිදෙනාම වෛද්‍යවරු කළ පොලිස් කොස්තාපල්වරයෙකු පසුගිය කාලයේ සැරයන්වරයෙකු ලෙස විශ්‍රාම ලබා ගත්තා.

සෙනෙවිරත්න නම් වන ඔහු මොනරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගමක ඉපිද කටුක අත්දැකීම් රැසක් මැදින් සිය දරුවන් වෛද්‍යවරු කළ ආකාරයයි මේ.

ඔහුගේ කතාව ඔහුගේම මුවින් ගිලිහුණු වචනවලින් අකුරු කර පහතින් දැක්වෙනවා.

“මම ඉපදුණේ 1955 සැප්තැම්බර් 24 වැනිදා. මොනරාගල දිස්ත්‍රික්කය අතිදුෂ්කර පළාතක් වුණත් ඒ පළාත්වල හැදුණු වැඩුණු මම ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අතහැරියේ නැහැ. මම පාසල් ගියේ බඩල්කුඹුර නිශ්ශංක මහා විද්‍යාලයට. ඕලෙවල් සහ ඒලෙවල් විභාග දෙකටම මම මුහුණ දුන්නේ නිශ්ශංක මහා විද්‍යාලයෙන්. ඔය වෙද්දී මගේ ඉතිරි සහෝදරයෝ පස්දෙනත් ඒ පාසලේම අධ්‍යාපනය ලැබුවා.

මට ඕනෑ වුණේ පුළුවන් තරම් ඉක්මනට මගේ අම්මා තාත්තාට සවියක් වන්න. මම දැනගෙන හිටියා ඒ අය අපි පස්දෙනාව හදා ගන්න ගොඩක් දුක් විඳින විත්තිය. ඊට පස්සේ මම 1979 දෙසැම්බර් මාසයේදී පොලිසියට එක්වුණා. පොලිස් කොස්තාපල්වරයෙක් විධියට. මගේ මුල්ම රාජකාරි ස්ථානය වුණේ වැල්වැටිතුරෙයි පොලිසිය. 1980 වෙද්දී උතුරේ කලබල ආරම්භ වෙලයි තිබුණේ. එවැනි වකවානුවක වැල්වැටිතුරෙයි පොලිසියේ රාජකාරි කිරීම අසීරු කටයුත්තක් වුණා. නමුත් මම ඒ අසීරු කටයුත්තට බොහොම සාර්ථකව මුහුණ දුන්නා.

වැල්වැටිතුරෙයි පොලිසියේ ඉඳලා කෑගල්ල, පින්දෙණිය, දැදිගම පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළා. ඊට පසුවයි මම තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්ත වුණේ. තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්ත වෙන්න මම කැමැති වුණේ තිස්සමහාරාමය මොනරාගලට ආසන්නව පිහිටීම නිසා. මම හිතුවා මගේ අම්මා තාත්තාට සලකන්න මට හැකියාවක් ලැබෙයි කියලා. තිස්සමහාරාම පොලිසියේ හීන්පැල්ල කියලා මහත්තයෙක් තමයි ඕඅයිසී විධියට වැඩ කළේ.

එතුමා මට මගේ වෘත්තීය ජීවිතය හැඩගස්සාගන්න විශාල ලෙස උදවු කළා. ඔය වකවනුවේදී ජවිපෙ අරගල නිසා යම් පමණකට රට අස්ථාවර කරලයි තිබුණේ. පොලිසියේ සේවය කරද්දී රැකියාවෙන් ඉවත් වෙන්න කියලා අපටත් තර්ජන ආවා. ඔය වෙද්දී මගේ බිරිය මාලනී ජයවික්‍රම සේවය කළේ කතරගම මහා විද්‍යාලයේ. අපි දෙන්නා පදිංචි වෙලා හිටියේ තිස්සමහාරාම පොලිසිය අසල පුංචි කඩකාමරයක. ජීවිතය පහසු දෙයක් වුණේ නැහැ.

1988-12-12 තමයි අපේ මුල්ම පුතා ඉපදුණේ. එයා දිල්ෂාන් සෙනෙවිරත්න. ඊට පස්සේ 1992 මැයි මාසෙදි නිවුන්නු දෙන්නෙක් අපේ පවුලට එකතු වුණා. මගේ දුව තමාලි ලක්ෂානි සෙනෙවිරත්න. පුතා තාරුක ජයරුවන් සෙනෙවිරත්න. අපි බෙහොම සතුටු වුණා එකපාර දරුවෝ දෙන්නෙක්ම ලැබිච්ච එක ගැන.

ඒ වෙද්දි මගේ ලොකු පුතා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටු කරමින් සිටියේ. ඔහු ගිය මඟ ඉතිරි සහෝදරයෝ යාවි කියන විශ්වාසය මට තිබුණා.

මම දරුවෝ තුන්දෙනාටම කිව්වේ අපි වගේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට ජීවිතය දිනන්න තියෙන එකම මඟ අධ්‍යාපනය විතරයි කියලයි. අධ්‍යාපනය මඟින් ජීවිතය සාර්ථක කර ගන්න කළ හැකි සියල්ලම කරන්න කියලයි මම ඒ අයට උපදෙස් ලබාදුන්නේ. මගේ නෝනත් ගුරුවරියක් වීම ඒ කටයුත්ත වඩා සාර්ථක කර ගන්න හේතු වුණා.

ඇය අපේ දරුවෝ තුන්දෙනාවයි, ඇයගෙන් අධ්‍යාපනය ලබන දරුවන්වයි යහමඟ ගෙනියන්නයි උත්සාහ ගත්තේ. මම දිවයිනේ විවිධ පළාතවල සේවය කළ නිසා මගේ බිරිය තමයි දරුවන් පිළිබඳ වගකීම් සියල්ල ඉටු කළේ. නිවුන් දරුවෝ දෙන්නෙක් නිසාම ඒක පහසු කාර්යයක් වුණේ නැහැ.

නමුත් ඇය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු කරන්න ඉඩදුන්නේම නැහැ. 1994 අවුරුද්දේදීම මම තිස්සමහාරාම පොලිසියේ ඉඳලා මොනරාගල බුත්තල පොලිසියට අනුයුක්ත වුණා. එතකොට මගේ පුතාලා පෙර පාසල් දරුවන්. දරුවෝ තුන්දෙනාම ඉගෙන ගත්තේ බුත්තල දුටුගැමුණු ජාතික පාසලෙන්.

පාසල් යන අවධියේ ඉඳලා ඒ අය අධ්‍යාපනයට තිබුණේ ලොකු නැඹුරුවක්. ලොකු පුතා මුලින්ම 2007-2008 වර්ෂවලදී රජරට වෛද්‍ය විද්‍යාලයට තේරුණා. අනෙක් දරුවෝ දෙන්නා 2012 වර්ෂයේදී රජරට වෛද්‍ය විද්‍යාලයටම තේරුණා. දරුවෝ තුන්දෙනාම රජරට වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී අපට පුළුවන්කමක් තිබුණේ නැහැ මොනරාගලට වෙලා ඉන්න.

මම පොලිස් සේවයේ ඉන්න ඉහළ නිලධාරි මහත්තුරු හම්බවෙලා අනුරාධපුරයට ස්ථාන මාරුවක් ඉල්ලා සිටියා. මම ඉල්ලා සිටියේ අනුරාධපුර උඩමළුව පොලිසිය. ඒ කාලේ අනුරාධපුරයේ හිටිය සහකාර පොලිස් අධිකාරිතුමා මගේ ගැටලුව පිළිබඳව අවධානය යොමු කරලා මට කැබිතිගොල්ලෑව පොලිසිය ලබා දුන්නා. අනුරාධපුරයේ ඉඳලා කිලෝමීටර් 58ක් දුරින් තමයි කැබිතිගොල්ලෑව පොලිසිය තිබුණෙ. රංජිත් කුඹුරේගම මහත්තයා තමයි එවකට කැබිතිගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිවරයා වුණේ. ඒ හැමෝම මට විශාල සහායක් ලබාදුන්නා.

දරුවෝ තුන්දෙනාම රජරට වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා කියලා ඒ අය දැනගෙන හිටියා. අනුරාධපුරයේ ක්වාර්ටස්වල නතර වෙලා තමයි මම දරුවන්ට ඉගැන්නුවේ. දරුවෝ තුන්දෙනාට අවශ්‍ය ආහාර පාන මගේ අතින්ම මම සැකසුවේ. පාන්දරම නැඟිටලා බත් උයලා කෑම පාර්සල් තුනක් ඒ අයට බැඳලා දීලා මමත් එක පාර්සලයක් බැඳගෙන කැබිතිගොල්ලෑව පොලිසියට වාර්තා කරනවා. බොහොම දුෂ්කර කාලයක් ගෙව්වේ. හැබැයි දුෂ්කර කාලය ගෙවන්න මට හැමෝම උදවු වුණා.

මගේ දරුවෝ ගාව දැඩි ආත්ම විශ්වාසයක් තිබුණා. ඒ අයට වුවමනා වුණේ සාර්ථක මිනිසුන් වෙන්න. මට මතක් වුණේ මගේ අම්මා තාත්තා ජීවිතය ගැන මට කියා දුන්නු දේවල්. ඒවා ඒ විධියටම මගේ දරුවන්ට මම කියලා දුන්නා. අත්දැකීම්වලින් ජීවිතය පෝෂණය කර ගන්න ඒ අයට හැකි වුණා. මගේ බිරියයි මමයි සාමාන්‍ය රජයේ සේවකයෝ. අපට විශාල ආදායමක් ලැබුණේ නැහැ.

නමුත් ලැබෙන ආදායම අරපිරිමැස්මෙන් පාවිච්චි කරලයි අපි අපේ දරුවන්ට ඉගැන්නුවේ. බිරිය අධ්‍යාපන සමුපකාර සමිතියෙන් සහන රැසක් ලබාගත්තා. පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල මඟින් මම විශාල සහන ලබාගත්තා. ඒ විධියටයි අපි අපේ දරුවන්ට ඉගැන්නුවේ. මේක සරල පහසු කාර්යයක් වුණේ නැහැ. දරුවෝ තුන්දෙනාම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී ඒක අපහසුතාවක් විධියට මම දැක්කේ නැහැ. මට වුවමනා වුණේ කොහොම හරි ජීවිතයට මුහුණ දෙන්න. මේ විදියට ජීවිත සටන ජයගෙන 2018දී මම සැරයන් විදියට පොලිසියෙන් විශ්‍රාම ගියා.

පෙර සඳහන් කරපු ආකාරයට මගේ දරුවෝ ගාවත් දැඩි ආත්ම විශ්වාසයක් තිබුණා. මගේ ලොකු පුතා තමයි මුලින්ම වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරයෙක් විධියට ජීවිතය ආරම්භ කළේ. ලොකු පුතා අපි දෙන්නාව බලා ගන්න වුවමනා නිසා තමන්ගේ මුල්ම පත්වීම අරගත්තේ මොනරාගලට. අද ඔහු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් විධියට මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනවා.

අනෙක් දුවයි, පුතයි අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරු ලෙස සේවය කරනවා. තාමත් හැමදාම උදේට මම නැඟිටලා ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුවන්ට ඒ අයගේ ජීවිත සාර්ථක කරගන්න සියලු ශක්තිය ලැබේවා කියලා. මම ආදර්ශවත් පියෙක්. ඒ ආදර්ශවත්කම නිසා තමයි මගේ දරුවෝ ඒ අයගේ ජීවිත මේ විධියට සකසා ගත්තේ. අද මමයි මගේ බිරියයි ලබන සතුට මිල මුදල්වලින් මනින්න බැහැ. මම විශ්වාස කරනවා අපි ජීවිතය ජයගත්තු මවුපියන් කියලා.”

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *